කායන්කර්නි ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පිහිටා ඇති අතර සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 1000-1500 අතර වර්ෂාපතනයක් ලැබේ. ඊසානදිග මෝසම නොවැම්බර් සිට ජනවාරි දක්වා වර්ෂාව සහ තද සුළං ගෙන එන අතර, එහි ප්‍රතිපලයක් ලෙස අධික වර්ෂාපතනයක් සහ රළු මුහුදු තත්ත්වයන් එම කාලය තුළ ඇති වේ. අප්‍රේල් සහ ඔක්තෝබර් යන අන්තර් මෝසම් කාලවලදී ද වරින් වර ගිගුරුම් සහිත වැසි ඇති වේ. වියළි කාලය ‘කචන් සුළං’ (ජූනි අග සිට අගෝස්තු දක්වා බටහිර කඳුකරය සහ තැනිතලා ප්‍රදේශ වල වර්ෂාපතනයෙන් පසු දිවයින හරහා හමා එන නිරිතදිග මෝසමේ උණුසුම් වියළි සුළං) වලින් සමන්විත වේ. සුළං සාමාන්‍යයෙන් මධ්‍යස්ථ වන නමුත්, සවස් වන විට හමන සුළං ප්‍රබල වන අතර පැයට කිලෝමීටර 7-15 දක්වා පරාසයක පවතී. කෙසේ වෙතත්, ඊසානදිග මෝසම් උච්ච සමයේදී සහ ජූනි අග සිට අගෝස්තු දක්වා "කචන්" කාල සීමාව තුළ පැයට කිලෝමීටර 30 ට වඩා වැඩි තීව්‍රතාවයකින් යුත් සුළං ඇති වේ. සාමාන්‍ය වාර්ෂික වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් වන නමුත් ගිම්හාන මාසවලදී සෙල්සියස් අංශක 38ක උපරිමයක් දක්වාද, වර්ෂා කාලවල සිසිල් රාත්‍රීන් වලදී සෙල්සියස් අංශක 18ක අවමයක් දක්වාද වෙනස් විය හැක. සාමාන්‍ය මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ක් වන නමුත් සුළඟ සහ දියවැල් මත වසර පුරා සෙල්සියස් අංශක 26 සිට 31 දක්වා පරාසයක පවතී. මුහුදු පතුල අඩු බෑවුමක් සහිත වන අතර එය තියුණු ලෙස බෑවුම් වීමට පෙර මහද්වීපික තලය දෙසට සුමටව ගමන් කරයි.
කායන්කර්නි අවට වෙරළබඩ ප්‍රදේශ පහත් බිම්, තැනිතලා සහ ඇලුවියල් තට්ටුවලින් (alluvial flats) සමන්විත වේ. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 4 ක උසකින් යුක්ත වන අතර ප්‍රදේශයේ ප්‍රධාන කඳු නොමැති බැවින් හුදකලා පාෂාණමය බිම් ඉහළම උන්නතාංශ සපයයි. මධ්‍යම සහ ඌව පළාත්වලින් ආරම්භ වන ගංගා කිහිපයක් මෙම ප්‍රදේශය හරහා ගලා බසින අතර වාලච්චේන මෝය, මාදුරු ඔය ද්‍රෝණියේ ප්‍රධාන සාගර විසර්ජනයයි. වියළි කලාපීය වෙරළබඩ පඳුරු වෘක්ෂලතා ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වෘක්ෂලතා වර්ගය වේ. කෘෂිකර්මාන්තය සඳහා ප්‍රදේශයේ ඉඩම් ප්‍රධාන වශයෙන් පරිහරණය වන අතර, සෘතුමය (යල මහ) වැසි මත පදනම් වූ සහල් වගාව සහ කිරි නිෂ්පාදනය සඳහා ගව පාලනය ප්‍රමුඛ වේ.